ඉලුක් මනාලිගේ හොල්මන් අවතාරය


 මේ කතාව මගේ හොඳම යාලුවෙකුට සිදුවුන සිදුවීමක් යාලුවනේ. නම් ගම් සඳහන් මන:කල්පිත බව සළකන්න.මන්ද යත් සත්‍ය සිදුවීමක් නිසා ඒ අයට හරි නැති නිසා.මගේ යාලුවාගේ නම ආසිරි කියලා හිතමු.ඔන්න දැන් කතාවට බහිමු අපි. 


ආසිරි මේ රැකියාවට එන්න කලින් වැඩ කළේ රාත්‍රී ආපන ශාලාවක. ඒ ආපන ශාලාව ඒ ප්‍රදේශයේ ජනප්‍රියම ආපන ශාලාවක්. ඒ ජනප්‍රියත්වයට එකම හේතුව තමයි එයාලා රෑ දවල් වෙනසක් නැතිව ඇනවුම් කරනා ආහාර පාරිභෝගිකයන්ගේ නිවෙස් වලටම ගිහින් බාරදෙන එක. මගේ යාලුවා කලේ මේ නිවෙස්වලට ගිහින් මේ ඇනවුම් බාරදීමේ රැකියාවයි. ඒ වැඩේට එයාට ආයතනයෙන් ත්‍රීරෝද රථයකුත් දීලා තිබුණා. ගොඩක් දුරට රාත්‍රී කාලයේ ආහාර ඇනවුම් කරන්නේ නගරය ආසන්නයේ ජීවත් වෙන පිරිස් නිසා මගේ යාලුවාට වැඩිය දුරගමන් යෙදුණෙත් නෑ.


       ඉතින් ඔය විදිහට ආසිරි කාලයක් සතුටින් රැකියාව කරගෙන හිටියා. එක දවසක් රෑ වැඩ ඉවර වෙලා ගෙදර යන්න කියලා එලියට බහිනකොටම ආපනශාලාවේ අයිතිකාරයා සමිත්ට කතා කරලා කීවලු යවන්න අමතකවුන ඕඩරයක් තියෙනවා ඒක ගිහින් බාරදීලා සමිත්ටත් එතනින්ම ගෙදර යන්න කියලා. ලොක්කා නිසා බෑ කියන්නයෑ.ඒ නිසා ඉතින් අපේ ආසිරියත් දෙකට තුනට නැමිලා කට පුරා හිනාවෙලා එහෙම, ලොක්කට ගුඩ් නයිට් කියලා හිතින් ලොක්කාගේ ආච්චිවත් මතක් කර කර ඕඩරේ බාර දෙන්න ගියාලු.

                                   ඉතින් මූ ත්‍රීවිල් එකට නැගලා ලොක්කා දුන්න ලිපිනය පොඩ්ඩක් කියවලා බැලුවලු. ඒ වෙලාවේ තමයි මූට තරු විසික්වෙලා තියෙන්නේ. ඒ ලිපිනයේ හැටියට සමිතයාට කිලෝමීටර් දහසයක විතර දුරක් යන්න තිබුණලු. හොඳම ආතල් එක කියන්නේ, ඒ පාරේ කිලෝමීටර් අටක විතර දුරක් ගෙවල් දොරවල් නැති පාලු ඉලුක් කැලයක් මැදින්ලු යන්නත් තියෙන්නේ. ලොක්කා දීපු ලිපිනයත් එක්ක තිබුණ බිල දැකපුහාම අපේ ආසිරියට තවත් තරු පොකුරු පොකුරු පෙණෙන්න පටන් ගත්තලු. මූට ගෙනිහින් බාරදෙන්න තිබිලා තියෙන්නේ බයිට් වගයක්. බීෆ් ඩෙවල් හතරයි, චිකන් ඩෙවල් හතරයි, තවත් ඒ වගේ බයිට් වගයක් තමයි ⁣පාර්සල් වල තිබිලා තියෙන්නේ. 

                                 ආයෙ ඉතින් ලොක්කට බෑ කියන්නයෑ.ඒ නිසා ඕනෙ මගුලක් වෙච්ච දෙන් කියලා ආසිරියා ගමන යන්න පටන්ගත්තාලු. කෑම ටික නිවෙන්න කලින් අදාල තැනට ගිහින් දෙන්නත් ඕනෙ නිසා ආසිරියත් දැන් ලෙල්ලටම පාගලා යනවාලු. ඔය විදිහට ටික වෙලාවක් යද්දී මම අර කලින් කියපු ඉලුක් කැලේ මූට හම්බවුනාලු. පාරත් ටිකක් සවුත්තුයිලු, පාරෙ වංගුත් වැඩියිලු, ඒ නිසා ඒ හරියේ මූ ටිකක් හිමින් තමයි ගිහින් තියෙන්නේ. 

                                    ඉතින් ඔය විදිහට යන ගමන් මූ ඉස්සරහින් හම්බවුන ලොකු වංගුවක් ගන්නකොටම මූට එකපාරටම ගෑණු කටහඬක් ඇහුනාලු.


" මාවත් දාගෙන යන්නකෝ.. "


                                      කියලා ගෑණු කෙනෙක් කියනවා තමයි මූට ඇහිලා තියෙන්නේ. කාට හරි බස් එකවත් වැරදිලා පයින්ම යනවා ඇති කියලා හිතිලා මූ ඉක්මනට වීල් එක නතර කළාලු. නතරකරලා ඔලුව දාලා පිටිපස්ස බැලුවත් කවුරුවත් පේන්න ඉඳලා නෑ. ඒ නිසා මූ වීල් එකෙන් බැහැලා වටපිට කැමරාව දාලා බලලා තියෙනවා. ඒ වෙලාවේ මූට බයක් දැනිලත් නෑ. කවුරුවත් පෙනෙන්න හිටපු නැති නිසා හිතේ සැකේට ඇහුන සද්ධයක් වෙන්න ඇති කියලා හිතපු මූ එතනම ඉඳගෙන සිගරට් එකකුත් පත්තුකරගෙන ආපහු වීල් එකට නැගලා ස්ටාට් කරලා, ලයිට් ඔන් කරාලු. ඒ වෙලාවේ දැකපු දෙයින් මූගේ ඇග හිරිවැටිලා ගියාලු. 

                                       බයිට් පාර්සල් සේරම ලොකු රෙජිෆෝම් පෙට්ටියක දාලා, ඒ පෙට්ටිය වීල් එකේ පිටිපස්සේ සීට් එකේ තියාගෙන තමයි මූ ගිහින් තියෙන්නේ. ඒත් මූ වීල් එකේ ලයිට් ඔන් කරද්දි පිටිපස්ස සීට් එකේ තිබුණ පෙට්ටිය මුට මීටර් පහළොවක් විතර ඉස්සරහින් හරියටම පාර මැදට වෙන්න බිම තියෙනවාලු. ඒ සීන් එක නිසා අපේ ආසිරියා ටිකක් බයවෙලා තියෙනවා. ඒත් ඉතින් කොහොමහරි හිත හදාගෙන මූ අර බයිට් පෙට්ටිය ලඟට ගිහින් ඉක්මනට ඒකත් උස්සාගෙන වීල් එක ලඟට ආවලු. එහෙම ඇවිත් පෙට්ටිය ආපහු වීල් එකට දාන්න යනකොට මෙන්න වීල් එක ඇතුලෙත් ඒ වගේම පෙට්ටියක් තියෙනවාලු. 


                                        ඒ සීන් එකටනම් මූ හොඳටම බයවෙලා, පාරේ තිබිලා උස්සන් ආපු රෙජිෆෝම් පෙට්ටියත් මූ පාර අයිනට විසික්කරලා. ඌ ඒ පෙට්ටිය විසික්කරපු පාරට ඒක ඇරිලා. ඒක ඇතුලේ තිබිලා තියෙන්නේ තඩි හරක් ඔලුවකුයි, කුකුල් ඔලු වගේකුයි. ඒ වෙනකොටත් අර හරක් ඔලුව කට ඇර ඇර අමාරුවෙන් හුස්ම ගන්න ගමන් ඇහිපිල්ලමුත් ගහනවාලු. මේ සීන් එක දැකපු අපේ ආසිරියා පැනපු ගමන් වීල් එකට නැගලා කෙලගෙන යන්න පටන්ගත්තලු. 


                          මූට ඒ විදිහට යන්න ලැබිලා තියෙන්නේ වංගු දෙකයි. තුන්වෙනි වංගුව කනේ වැලි ගෑවෙන සයිස් එකට නවලා ගනිද්දී මෙන්න මූට මීටර් විස්සක් විතර ඉස්සරහින් මනමාලියක් වගේ සුදු ඇඳුමක් ඇඳගත්ත ගෑණු කෙනෙක් හරියටම පාර මැද හිටගෙන ඉන්නවාලු. මොකා හිටියත් කමක් නෑ කියලා මූ හොඳවයින් කුනුහරුප දෙක තුනකුත් කියාගෙන අර ගෑණු කෙනා පහුකරගෙන යද්දියි ඌ හරියටම ඒ ගෑනිව දැකලා තියෙන්නේ. ඇස් දෙක රතුම රතු පාටයිලු, මූන හැම තැනම මස් ගැලවිලා එල්ලෙනවලු. මූ බයවුන පාර දන්න ගාතා සේරම කියකිය කොහොම හරි ඉලුක් කැලෙන් එලියට ඇවිත් තියෙනවා. එහෙම එන ගමන් සයිඩ් කන්නාඩියෙන් පස්ස බලපු මූට, ඉලුක් කැලේ අවසාන හරියේ පාර මැද හිටගෙන ඉන්න අර ගෑනිව පෙනිලා තියෙනවා.


                               කොහොමහරි අදාල තැන හොයාගෙන අපේ ආසිරියා යනකොට ඌට වචනයක්වත් හරියට කියවෙන්නේ නෑලු. ඒ තරමටම ඌ බයවෙලයි ඉඳලා තියෙන්නේ. මොනවා වුනත් බයිට් ඕඩර් කරපු සෙට්එක හොඳ කොල්ලෝ සෙට් එකක්ලු. ඒ අතරින් එකෙක් ඒ ගමේම පදින්චි පොරක්ලු. උන් සෙට් එක එකතුවෙලා අපේ ආසිරියට පොඩි ෂොට් එකක් එහෙම පොව්වලා එහෙම තමයි ආපහු මූව යතා තත්වයට අරගෙන තියෙන්නේ. පියවි සිහියට ආවට පස්සේ මූ ඌට සිද්දවුන හැමදේම අර සෙට් එකට කියලා. ඒ වෙලාවෙ එතන හිටිය අර ගමේ පොර ඔලුවේ අත ගහගත්තාලු. ඒකට හේතුව තමයි ඒ පාරේ කලුවර වැටුනාට පස්සේ අඩුමගානේ ගමේ එකෙක්වත් යන්නේ නෑලු. අනිත් එක ටවුමට යන්න ඊට වැඩිය ගොඩක් ලඟ පාරකුත් තියෙනවාලු. කොහොමහරි ඉතින් ටවුමේ ඉඳලා බලද්දි අපේ ආසිරියට ගූගල් මැප් එකේ පෙන්නලා තියෙන්නේ ඔය කැලෑ පාර තමයි.


                              ආසිරියාගේ කතාව අහලා එහෙම ඉවරවෙලා කොල්ලෝ සෙට් එකම වූත් එක්ක වීල් එක ලඟට ඇවිත් බයිට් පාර්සල් ටික අරගන්න. වීල් එකේ පිටිපස්සේ තිබුණ රෙජිෆෝම් පෙට්ටියක ඇරියාම සෙට් එකටම තරු විසික්වෙලා... ඒ පෙට්ටිය ඇතුලේ බයිට් මොනවත් තිබිලා නෑ. පෙට්ටිය ඇතුලේ හැම තැනම රතුපාටට ලේ තිබිලා තියෙනවා. ඊට අමතරව මගුල් සාරියක වගේ රෙදි කෑල්ලකුත් තිබුනාලු. ඒක දැකපු අර ගමේ පොර අපේ ආසිරියට කීවලු " උඹ පුතා ඔයින් බේරුණා ඇති " කියලා.


                               ඒ සෙට් එක හොඳ එවුන් ටිකක් නිසා උන් ආසිරියා අතේ තිබුණ බිලට සල්ලිත් ගෙවලා, ආසිරියට එදා එලිය වැටෙනකන් උන් එක්කම ඉන්නත් කියලා, ඌට හොඳට බොන්නත් දීලා තමයි පහුවදා අර ලඟ පාරෙන් මූව ටවුමට එවලා තියෙන්නේ.


                              පහුවදා උදේ ආසිරියාා යන්න ලැහැස්ති වුනාම තමයි අර ගමේ පොර ආසිරියට ඉලුක් කැලේ ඉතිහාස කතාව කියලා තියෙන්නේ. ඒ ආසිරියා බයවුන හරියට කියන්නේ මනමාලිගේ මූකලාන කියලාලු. ඒ හරියට ඒ නම වැටෙන්න හේතුව තමයි, දැනට ගොඩක් කාලෙකට කලින් මගුල් කපල් එකක් ඔය හරියෙන් යද්දි මග රැකලා හිටපු හොරු වගයක් අර මනමාලයාව මරලා, මනමාලිටත් අතවර කරලා එතැනම මරලා දාලා, එයාලා ලඟ තිබුණ රත්තරන් බඩු සේරමත්  කොල්ලකාලා පැනලා ගිහින්. එදා ඉඳලා රෑට තියා මහ දවාලටවත් තනියමනම් කවුරුවත්  ම ඒ පාරෙන් යන්නේ නෑලු. කොහොමහරි තව ටිකක් එහා මෙහා වුනානම් අපේ ආසිරියට මනමාලිත් එක්ක අර ඉලුක් කැලේ බින්නබහින්න තමයි වෙන්නේ.


යාලුවනේ ඔයාලා කතාව රස වින්ඳනම් අනිවාර්යෙන්ම comment එකක් දාගෙන යන්න.එතකොට තමා අලුත් කතා ගේන්න අපිටත් ශක්තියක් ලැබෙන්නේ.බුදුසරණයි හැමෝටම 🙏🙏🙏









Comments